Friday, July 16, 2010

ඒ ඒ දේවල් ඒ ඒ වයසෙදි කරන්න ඕනෙ...

(වැඩිදෙනෙකු ඇය හඳුනන්නේ"ජීවිතය ලස්සනයි"ටෙලි නාට්‍යයේ"සුදු නංගී"ලෙසය. නිවේදිකාවක ලෙස සිය කලා ජීවිතය ඇරඹි ඇය මේ වන විට රංගන ශිල්පිණියක ලෙස වැඩි ප්‍රේක්ෂක ජනප්‍රියත්වයක් හිමිකර ගෙන ඇත.මෙම දිනවල"ඉතිං ඊට පස්සේ"ටෙලි නාට්‍යය තුළින් ඔබ හමුවන ඇය අයෝමි ශානිකාය.මෙවර ආලින්දයට ගොඩවදින්නේ ඇයයි.)



*අයෝමි, ඔබ රංගන ශිල්පිණියක්, නිවේදිකාවක් විදිහට ක්ෂේත්‍ර කිහිපයක් තුළින් මේ දක්වා ‍ඔබ පැමිණි ගමන් මග, ඔබ කොහොමද මේ ක්ෂේත්‍රයට පිවිසුණේ යන කරුණු ගැන මුලින්ම මතක් කළොත්?

ඒ ගැන කතාකරද්දී ගොඩක් අතීතයට යනවා. මම හිතන්නේ මේ හැමදෙයක්ම ආරම්භ වුණේ පාසලෙන්. මුලින්ම ජනතාව අතරට ගියේ ජාතික රූපවාහිනියේ"ඉලක්කය"වැඩසටහන තුළින්. මාව නිළියක් විදිහට ක්ෂේත්‍රය තුළ හඳුනාගත්තේ ඉන්පසුවයි.

*ඔබ මේ දිනවල අපට අලුත් නිර්මාණ වලින් වැඩිපුර හමුවන්නේ නෑ. ඊට විශේෂ හේතුවක් තියෙනවද? එහෙම නැත්නම් කලා ක්ෂේත්‍රයෙන් ඈත්වෙන්නවත් හිතිලද?

නැහැ, මම අධ්‍යාපන කටයුතු වලට තමයි හැමදාම මුල් තැන දුන්නේ. මම කොළඹ විශ්ව විද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හදාරනවා. දැනට මම අවසන් වසරේ අධ්‍යාපනය ලබන්නේ. ඉතින් අධ්‍යාපන කටයුතු එක්ක රූගත කිරීම් වලට කාලය වෙන්කරගන්න තරමක් අපහසුයි. තෝරාබේරා ගත් දේවල් තමා මේ දවස් වල කෙරෙන්නේ. අලුත් නිර්මාණ වලට දායකවෙන්න ඉඩ ලැබුණේ නෑ. ගිය අවුරුද්දේ දායක වුණු නිර්මාණ තමා මේ දවස් වල දකින්න ලැබෙන්නේ.

*ලංකාවේ වර්තමාන කලා ක්ෂේත්‍රය ගැන කතාකරද්දි ක්ෂේත්‍රයේ බොහෝදෙනෙකු ක්ෂේත්‍රය පිළිබඳව ඒ තරම් පැහැදීමකින් කතාකරන්නේ නෑ. ඔවුන් විවිධ චෝදනා නගනවා. ඒ සම්බන්ධව ඔබ දරන මතය මොකක්ද?....... ඔබ සතුටට පත්වෙනවද එවැනි තත්ත්වයක් මත රංගන ශිල්පිණියක ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසීම ගැන?

කලාව මම කවදාවත් වෘත්තියක් කරගත්තේ නෑ. ඉදිරියට කරගන්න බලාපොරොත්තුවකුත් නෑ. අනිවාර්යයෙන්ම මගේ ජීවන වෘත්තිය වෙන්නේ වෛද්‍ය වෘත්තියයි. ඊට අමතරවයි කලා කටයුතු වල නිරතවෙන්නේ. අනෙක් අය ගැන කතා කරනවා නම් ටෙලි නා‍ට්‍ය නිෂ්පාදනය ගත්තත් එය එක් පිරිසකට සීමා වී තියෙනවා. යම් යම් ගැටලු නිසා මමත් හිතන්නෙ නෑ මෙය වෘත්තියක් කරගන්න සුදුසුයි කියලා. නළුවෙක් හෝ නිළියක් තුළ හැමදාමත් ජනප්‍රියත්වය රැඳිලා තියෙන්නේ නෑ. අපි කියනවානේ නිතර දැක්කමත් එපාවෙනවා කියලා. අලුත් අය එනවා යනවා. මේ වගේ යාම් ඊම් නිසා මේ තුළ වෘත්තියක් ලෙස රැඳීසිටීම මම සුබවාදී තත්ත්වයක් ලෙස දකින්නේ නෑ. කලාවට ආදරේ නිසා හැමදාම කලාව තුළ රැඳිලා ඉන්නවා. අපි හම්බකරන්න මේ ක්ෂේත්‍රය තුළ සිටියොත් මුදල් මත ලැබෙන ඕනෑම නිර්මාණයක් බාරගන්න සිද්ධවෙනවා. මම එවැනි අවස්ථා දැකලා තියෙනවා. ඉතින් ඒ නිසා කලාවට ආදරය නිසා මේ ක්ෂේත්‍රයට එක්වුනොත් හොඳ නිර්මාණ බිහිවෙයි. ඒ වගේම ප්‍රේක්ෂකයින්ට හොඳ නිර්මාණ දැකගන්න පුළුවන් වෙයි.

*අයෝමි, ඔබ ටෙලි නාට්‍ය වල රූගත කිරීම් වල යෙදෙන අතර ඔබ ජීවිතයට බොහෝ අත්දැකීම් එකතු කරගන්න ඇති. ඒ අතර අමතක නොවන විදිහට ඔබේ මතකයේ රැඳුණු ඒ වගේ අත්දැකීම් කිහිපයක් ගැන මතක් කළොත්?

අත්දැකීම් වැඩිම ප්‍රමාණයක් ලැබුවේ"ජීවිතය ලස්සනයි"ටෙලි නාට්‍යය තුළිනුයි. ගොඩක් දේවල් මාධ්‍යයට කියලත් තියෙනවා. එහි රූගත කිරීම් කළේ බණ්ඩාරගම ප්‍රදේශයේ. දවසක් නාට්‍යයේ ගැහැණු ළමයි ඉන්න කාමරේට ගැරඬියෙක් ආවා. බොහොම අමාරුවෙන් ගැරඬියාව එළවගත්තේ. ඊට පස්සේ මුද්‍රිත මාධ්‍යවලත් කතාවක් ගියා සත්තු වත්තටත් ගැරඬි අල්ලලා දෙන්නේ මම කියලා. ඒක ජනප්‍රිය මාතෘකාවක් වුණා.

*වර්තමානයේ රංගන ශිල්පිණියන් අතර විශේෂයෙන් ප්‍රවීණ ශිල්පිණියන් හා ආධුනිකයින් අතර දැඩි තරඟකාරිත්වයක් ගොඩනැඟී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔබේ අත්දැකීම් ගැන කතාකළොත්?

ප්‍රවීණයන්ගෙන් මට හැමවෙලේම අවවාද, අනුශාසනා ලැබුණා. මේ තාක් මට ඔවුන් සමග ගැටුම් ඇතිවෙලා නෑ. මම හිතන්නේ ගැටුම් ඇතිවෙන්නේ දෙගොල්ලො අතරේ අන්‍යෝන්‍ය සම්බන්ධකම නැතිවුනහමයි. ඕනෑම ක්ෂේත්‍රයක අපි ප්‍රවීණයන්ට ගරු කළ යුතුයි. ඒ අයගෙන් අපි දෙයක් ගත යුතුයි. ඒ වගේ දේවල් නිවැරදිව සිදුවෙනවා නම් එවැනි ගැටලු ඇතිවන එකක් නෑ. තරුණ අය වුනත් ඉවසිලිවන්තව කටයුතු කරනවා නම් හොඳයි. අදහස් නොගැළපීම් වැනි දේ ඇතිවිය හැකියි. මම හිතන්නේ වැඩිහිටියන්ට ගරු කරනවා නම් එවැනි තත්ත්ව ඇතිවන්නේ නෑ. වාසනාවකට මට නම් එවැනි දේවල් වලට මුහුණදෙන්න සිදුවෙලා නෑ.

*අයෝමි, ඔබ රංගන ක්ෂේත්‍රයට පිවිසි මුල් කාලයේ ප්‍රේක්ෂකයින් අතර බොහෝ ජනප්‍රියත්වයට පත්වුණා. නමුත් දැන් ඔබව වැඩිපුර දකින්න ලැබෙන්නේ නෑ. ඔබේ ජනප්‍රියත්වය දැන් ටිකෙන් ටික අඩුවෙලා යනවා කියලා කවුරුන් හරි කිව්වොත් ඒ ගැන ඔබේ අදහස මොකක්ද?

ජනප්‍රියත්වය අඩුවෙන්නත් පුළුවන්. දැන් ඉස්සර වගේ නෙමේ. ඉස්සර අපි නාට්‍යයක් බලන්නේ සතියකට එක් වතාවයි. දැන් මෙගා රැල්ලත් එක්ක අපි හැමදාම එකම නළු නිළියෝ දකිනවා. එහෙම දැකලා ඒ නාට්‍යය ඉවර වුණාම ජනප්‍රියත්වය අඩුවෙනවා. ඒක සාධාරණයි. ඒක තමන් අවබෝධ කරගත යුතුයි. ඒකයි මම කි‍ව්වේ මෙය වෘත්තියක් ලෙස සුදුසු වෙන්නේ නෑ. ඒකම ආදායම් මාර්ගය කරගැනීම සුදුසු නෑ. මගේ අධ්‍යාපන කටයුතු වලට අවශ්‍ය තරම් කාලය යොදවාගන්න අවශ්‍ය නිසයි මේ දවස් වල පැත්තකට වෙලා ඉන්නේ. නමුත් ජනප්‍රියත්වය මනින දර්ශකයක් නෑ. නිතර දේවේලේ මගේ මුහුණ දකින්න නැති නිසා ජනප්‍රියත්වය අඩුවෙන්න පුළුවන්.

*ඔබ රංගන ක්ෂේත්‍රය තුළ රැඳීසිටීමේ අරමුණ කුමක්ද?

ආත්ම තෘප්තිය. ආත්ම තෘප්තිය විතරක්ම කියන්න බෑ. අපි ඕනම කෙනෙක්ගේ ප්‍රමුඛතා ලැයිස්තු තියෙනවා. 1, 2, 3. ඉන් අංක 1 ආත්ම තෘප්තිය. හොඳ නිර්මාණයකට දායක වෙලා, අත්දැකීම් ලබලා, කලා ශිල්පීන් ඇසුරු කිරීම මේ තුළින් ආත්ම තෘප්තිය ලබන්න පුළුවන්. දෙවැන්න තමයි මුදල. මුදලුත් ජීවිතයට අතවශ්‍යයි. කෙනෙකුට අංක එක මුදල කරගෙන අංක දෙක ආත්ම තෘප්තිය කරගන්න පුළුවන්. මට අංක එක ආත්ම තෘප්තිය, දෙක මුදල.

*අයෝමි දැන් ජීවිතයට සහකරුවෙක් සොයාගැනීමට සුදුසු කාලය කියලා හිතෙන්නේ නැද්ද? ඒ ගැන මොකක්ද අදහස?

මම මේ දවස් වල නම් මූලික අවධානය යොමුකරන්නේ අධ්‍යාපන කටයුතු වලට. අර කියනවනේ ඒ ඒ දේවල් ඒ ඒ වයසෙදි කරන්න ඕනෙ කියලා. මම අධ්‍යාපනය තුළ කඩඉමකයි ඉන්නේ. අවසන් වසරේ. ඒ වගේම උපාධිය විතරක් නෙමේ. එතනින් එහාට ඉගෙන ගන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. අනිත් දේවල් කාලයත් එක්ක විසඳෙයි. එතෙක් ඉගෙනගන්නවා.

*සාමාන්‍යයෙන් ඕනෑම තරුණියට තමන්ගේ ආදරය කරන පුද්ගලයා මෙන්න මේ වගේ වෙන්න ඕන කියලා හිතේ ඇඳුණු යම් රූපයක් තියෙනවා. ඉතින් ඔබ බලාපොරොත්තු වන සහකරුවා මොනවගේ කෙනෙක්ද?

අපි කාගෙත් හිතේ කෙනෙක් ඉන්නවා. හැබැයි අපි රූපයක් මවාගෙන නෑ. ඔහු උස වෙන්න ඕනද? කළු වෙන්න ඕන ද? කියලා. නමුත් පුද්ගලයෙක් වශයෙන් කිව්වොත් මම ක්ෂේත්‍රයන් කිහිපයක නිරතවෙන කෙනෙක් නිසා අයෝමි කියන්නේ කවුද කියන දේ හොඳින් අවබෝධ කරගත් කෙනෙක් වෙන්න ඕන. බාහිර ඔපයට රැවටිලා නිළියක් විදිහට මාව දකින කෙනෙක්ට මම කැමති නෑ. අභ්‍යන්තරයට ගිහින් මාව දකින මට ආදරය දකින ඒ වගේම අපි හැමෝම කැමති විදිහට හොඳ ගුණ ගරුක කෙනෙක්ට මම කැමතියි.

*විවාහය කියන සාධකයත් සමග බොහෝදුරට රංගන ශිල්පිණියකගේ වෘත්තීයමය වටිනාකම අඩුවෙනවා, ඇයට ක්ෂේත්‍රය තුළ ලැබෙන අවස්ථා අඩුවෙනවා කියන මතයට ඔබට එකඟ වෙන්න පුළුවන්ද?

මම නම් එකඟවෙන්නේ නෑ. නිළියකගෙන් අයින්වෙලා කාන්තාවක් දිහා බලන අය තමයි එහෙම හිතන්නේ. දැන් ඉන්දියාව වගේ රටක් ගත්තොත් අයිෂ්වර්යා විවාහ වුණා කියලා ඇයගේ ජනප්‍රියත්වය අඩුවුණේ නෑ. ඇය තමන්ගේ ස්වාමි පුරුෂයා එක්කත් එකට රඟපානවා. ඒත් මිනිස්සුන්ට තවම මේ යුවල එපාවෙලා නෑ. අපේ රටෙත් ඒ වගේමයි. අද ඉන්න බොහෝ ජනප්‍රිය නිළියන්ගෙත් විවාහ වුණා කියලා පොඩ්ඩක්වත් ජනප්‍රියත්වය අඩුවෙලා නෑ. එය තමාගේ දක්ෂතාවය හා තමන් තෝරා බේරා ගන්නා චරිත කොයිතරම් දුරට සමාජය ළංකර ගන්නවද කියන දෙය මතයි මම හිතන්නේ ඒ දෙය තීරණය වෙන්නේ.

*ලාංකීය කාන්තාවන් විදිහට ආසියාතික සම්ප්‍රදායන්, සංස්කෘතික වටිනාකම් එක්ක විශේෂයෙන් කාන්තාවන්ට සාපේක්ෂව බොහෝ සීමා වලට මුහුණදීමට සිදුවෙනවා. එවැනි තත්ත්වයක් නිළිකම වෘත්තියක් ලෙස තෝරාගැනීම ඇත්තටම අභියෝගයක් නේද? මේ තත්ත්වය ඔබ කොහොමද දකින්නේ?

මම හිතන්නේ එය අවශ්‍යයි. අපි දේ විදිහට ඉන්නේ අපේම කියලා චාරිත්‍ර වාරිත්‍ර තියෙන හින්දා. ඒ වගේම සංස්කෘතියත් වැදගත්. නමුත් අපිට කෙනෙකු නීති දාන්න බෑ. ඒක තමන් දැනගත යුතුයි. තමන් දැනගත යුතුයි තමන්ට සුදුසු ඇඳුම සුදුසු අවස්ථාවේ අඳින්න. ඒකට නීතිරීති දාන්න බෑ. මම හිතන්නේ තමන්ගේ ආත්ම සංවරයක් තියෙනවා නම් හොඳයි.

*ඒ වගේ සීමා මායිම් පැනවීම තුළින් චරිතයට අසාධාරණයක් වෙනවා කියලා හිතෙන්නේ නැද්ද?

ඒකට මෙහෙම උත්තර දෙන්න පුළුවන්. යම් චරිතයක් නිරූපණය කිරීම සඳහා කොට ඇඳුම් ඇඳීම අවශ්‍ය නම් දිග ඇඳුමක් ඇඳලා එය නිරූපණය කරන්න බෑ. පිටපතට අනුව එය අතවශ්‍ය නම් ඒ නළුවාට හෝ නිළියට සිදුවෙනවා ඒ දෙය කරන්න. එතනදී තමන්ට මේ චරිතය නිරූපණය කරන්න පුළුවන් ද කියන දෙය තමන් තීරණය කළ යුතුයි. එය හැකියාව මත පමණක් තීරණය වන දෙයක් නෙමේ.

*සාමාන්‍යයෙන් ඔබ රංගනය සඳහා කිසියම් නිර්මාණයක් ‍තෝරාගැනීමේදී එය තෝරාගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම සඳහා යම් සීමාවන් තියෙනවද? නිර්මාණයකට ඔබ අයකරන නිශ්චිත මිලක් ති‍බෙනවාද? කොහොමද ඔබ එය තීරණය කරන්නේ?

මම මුලින්ම හිතන්නේ ඒ චරිතය මොකක්ද කියන එකයි. එය අනෙක් චරිත එක්ක පවතින සම්බන්ධය අනුව ම‍ට එය නිරූපණය කරන්න පුළුවන්ද කියන දෙය. චරිතයට ආස වූ පලියට එය කරන්න බෑ. තමන්ගේ දක්ෂතාවය අනුව තමන්ට මෙය කරන්න පුළුවන්ද බැරිද කියන දේ තීරණය කළ යුතුයි. ඊළඟට හිතන්නේ දින ගණන ගැන. මුදල් ගැන ඇත්තටම මම සැලකිලිමත් වෙන්නේ නෑ. මේ දක්වා ‍මුදල් නොලැබුණු නිර්මාණ වලටත් මම දායකවෙලා තියෙනවා. මුදල අවශ්‍යයි. නමුත් ඊට මුල් තැනක් දෙන්නේ නෑ.

*අයෝමි අනිවාර්යයෙන්ම ඕනෑම රටක ඕනෑම ක්ෂේත්‍රයකින් ජනතාව අතර ජනප්‍රියත්වයක් ලබාගන්නා පුද්ගලයින්ට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව විවිධ කටකතා වලට ලක්වීමට සිදුවෙනවා. කාන්තා පාර්ශවයට ඒ තත්ත්වය තරමක් වැඩියි. කටකතා සම්බන්ධයෙන් ඔබේ අත්දැකීම් මොනවගේද?

මට කටකතාවක් යනවා නම් ගොඩක් වෙලාවට ඒක මට ආරංචි වෙන්නේ නෑ. මෙතුවක් මට එවැනි කටකතා ආරංචි වෙලා නෑ. ඕනෑම ක්ෂේත්‍රයක ඕනෑම කෙනෙක්ට කටකතා හැදෙන්න පුළුවන්. තමන්ගේ හෘද සාක්ෂිය තමයි දන්නේ ඒ කතා වල ඇත්ත, නැත්ත. තමන් අවංකව ජීවත්වෙනවා නම් කටකතා වලට බිය විය යුතු නෑ. අද සමාජයේ මිනිස්සු ඉස්සර වගේ නෙමේ. ඔවුන් බුද්ධිමත්‍. තමන් තමන්ට අවංක නම් මට නම් මිනිස්සු මොන දේවල් කිව්වත් ගැටලුවක් නෙමේ.

HARD TALK *සනත් විමලසිරි, මංජුල මොරගහ සහ මේනක රාජපක්ෂ යන රංගන ශිල්පිණියන්ගෙන් ඔබ හිතන විදිහට ඔබට තිරයේදී වඩාත් ගැළපෙන පෙම්වතා කවුද?

මංජුල මොරගහ.

*යම් අවස්ථාවක ඔබේ පෙම්වතා ඉල්ලීමක් කළොත් කලා ක්ෂේත්‍රයෙන් ඉවත්වෙන්න කියලා ඔබ ඒ ඉල්ලීම පිළිගන්නවද?

පිළිගන්නවා.

*එකම අවස්ථාවක එකම මුදලකට ඔබ වඩාත් ප්‍රියකරන අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකුගෙන් ඔබට ආරාධනාවන් 02 ක් ලැබෙනවා ප්‍රධාන චරිත වෙනුවෙන්. එකක් වාණිජ චිත්‍රපටයක පෙම්වතියගේ චරිතය. අනෙක් චිත්‍රපටය කලාත්මක චිත්‍රපටයක ප්‍රධාන චරිතය. ඔබ තෝරාගන්නේ කුමන අවස්ථාවද?

කලාත්මක චිත්‍රපටය.

*ඔබ හිතන විදිහට සාර්ථක, දක්ෂ රංගන ශිල්පිණියක් කියලා හඳුන්වන්න පුළුවන් වැඩි සම්මාන ප්‍රමාණයක් දිනාගත් ශිල්පිණියද? නැතිනම් වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගත් ශිල්පිණියද?

මම හිතන්නේ වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් ශිල්පිණිය.

*ඔබට ලොතරුයි දිනුමක් ලැබෙනවා. රුපියල් ලක්ෂයක්. නමුත් ඒ මුදල ඔබේ අතට ලැබෙන්නේ නෑ. එම මුදලේ වටිනාකමට ඔබට ඇඳුම් පැළඳුම් හා වෙනත් රූපලාවන්‍ය උපකරණ ලබාගන්න පුළුවන්. නැතිනම් එම වටිනාකමටම යම් යම් විෂයන්ට අදාළ පොත්පත් මිලදීගන්න පුළුවන්. ඔබ තෝරගන්නේ කුමන අවස්ථාවද?

අනිවාර්යයයෙන්ම පොත් පත්.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t